Skip to main content

Ramesh | an emerging boxing star from north

උපකුලපති පැසසුම හා පැසසූවන්ගේ පැවසුම

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමන් සඳහා ඔහුගේ ගම් වැසියන් විසින් යාපනය ඉණුවිල් හිදී සංවිධානය කර තිබුණු උපහාර පිදීමේ උළෙලට සහභාගී වුණ එකම සිංහල සිසුවා (පොලිසියේ දෙදෙනාට අමතරව) බවට ඉතිහාස ගත වීමි. මා අඳුනන එක්තරා විශ්වවිද්‍යාල ආරක්ෂක මහතෙකු (ඔහුගේ ගමද ඉනුවිල්) විසින් කරන ලද ආරාධනාවක් නිසා එයට සහභාගී වීමට සිදු විය. උපකුලපති තනතුරක් ලැබීම රජ තනතුරක් ලැබීමට සමාන යැයි සිතෙන මට්ටමට පැසසුම් උළෙල දුටු විගස කල්පනා විය. වසර තුනක් වැනි සුළු කාලයකට “ලැබෙන“ මෙම පත්වීමට මෙතරම් පැසසුම් කරන්නට ගම්වැසියන් පෙළඹුණේ ඇයිදැයි විමසූ විට දැනගන්නට ලැබුණේ මේ තාක් කල් අප ඉණුවිල් ගම්මානයෙන් මෙවැනි තැනකට ආ පළවෙනි පුද්ගලයා මොහු බවත් නැවත වසර ගණනාවකට අප ගමෙන් මෙවන් පුද්ගලයෙක් බිහි නොවනු ඇති බවත්ය. එම නිසා අප ගමට සහ ගමේ “පසට“ මෙය මහත් ආඩම්බරයක් බවත්ය.

“ඔබ ගෙදර ප්‍ර‍ධානියා නම් ගෙදරින් පමණක් ඔබට පැසසුම් ලැබේ. ඔබ ගමක ප්‍ර‍ධානියෙකු නම් ඒ ගමින් පමණක් ඔබට පැසසුම් ලැබේ. ඔබ ජනාධිපතිවරයෙකු වුවද ඔබේ රටින් බබැහැරව ඔබට පිළිගැනීමක් නොමැත. නමුත් ඔබ උගතෙකු නම් ලෝකයේ ඕනෑම තැනකදී ඔබට පිළිගැනීමක් ඇත “

උපහාර පිදීමට පැමිණි එක්තරා මහතෙකුගේ අදහසක්.



උපකුලපති තුමන්ව දමිළ සංස්කෘතික ඇඳුමින් සරසා වීදියේ පෙරහරකින් “වැඩමවූ“ අතර ගෙයක් ගෙයක් ගානේ ඔහුව නවතා මල් මාල පළඳා කුඩා දරුවන්ට ආශිර්වාද ලබාදී පවුලේ සියළු දෙනා එක්ව ඡායාරූප ලබා ගත්හ. පසුව ඉණුවිල් කන්දස්වාමි කෝවිලේ විශේෂ පූජාවකට සහභාගී කරවා කෝවිලට පසෙකින් තනා තිබූ විශේෂ මණ්ඩපය තුලට එක් කරගෙන ගියහ. රටේ ජනාධිපති තුමන්ටවත් නොමැති ආකාරයේ ඉහළම සැළකිල්ලක්. අඩුවට තිබුණේ ස්කොඩ් එක විතරයි. (කරුණාකර මාව විශ්වාස කරන්න). වේදිකාව පාමුල එතුමන්ව වාඩි කරවා සම්ප්‍ර‍දායික පොල්තෙල් පහන පත්තු කෙරිණි.

“මෙතුමාගෙන් ඉගෙන ගත් සිසුවෙක් පැමිණ පහන දල්වන්න“ යැයි ස්පීකරයෙන් ඇසුණු විගස මා හිතවත් ආරක්ෂක නිළධාරියා “මල්ලි උඹ පලයන්“ කියා මාව ඉදිරියට තල්ලු කළේය. ලැජ්ජාව බය පසෙකින් තැබූ මා ඉදිරියට ගොස් පොල්තෙල් පහන පත්තු කළෙමි. (ලකුණු 10 + ). පසුව රත්නම් විග්නේෂ්වරන් මහතාව සහ එම මැතිණිය භවානි විග්නේෂ්වරන් මහත්මියව භරත නාට්‍යයම් වලින් පිළිගෙන වේදිකාව මත වූ විශේෂ කවිච්චියක වාඩි කරවූහ. 1989 දී ඇයව විවාහ කරගත් මෙහොතට පසු මේ විදියට සැරසී වේදිකාවට නැග්ගේ මෙම උළෙලේදීද විය හැක. පසුව පාරාට්ටු නොහොත් පැසසුම් කිරීම් ඇරඹිනි.



“මෙය උපහාර උළෙලකටත් වඩා තනතුර ස්ථිර කිරීමේ උළෙලකට සමයි“ 

යනුවෙන් එක් අයෙක් පැවසීය. එයට හේතුව මෙම පත්වීම  පිළිබඳව  බොහෝ කටකතා ආදිය පැතිර ඇති නිසා විය හැකියි. ඉන්පසු කතා කළ මහතෙකු මෙලෙස පැවසීය

“විගී අයියාගේ මෙම ජයග්‍ර‍හණය පිළිබඳ මා හදවතින්ම සතුටු වෙමි“

ඒ පිළිබඳ පවසන්නට මා හට කිසිම දෙයක් නොමැත. ඔහුට මෙතුමා මහාචාර්ය හෝ උපකුලපති ලෙස නොදැනෙන බවද පැවසීය. හොඳ හොඳ දේවල් “සවස්“ වෙන ජාමෙට යන මැයෙන් හොඳම කතාව ආවේ ඉන් පසුවයි. මෙලෙස පැවසූයේ එක්තරා පූජකයෙකි.

“මහ ඇමති තුමත් විග්නේෂ්වරන්, දැන් උපකුලපති තුමනුත් විග්නේෂ්වරන්. ඔබ තුමා මෙම උපකුලපති තනතුරට පත්වීමේ වගකීම විශ්වවිද්‍යාලයට පමණක් සීමා වුණ එකක් නෙවෙයි. විශ්වවිද්‍යාලය හිංදු ආගමේ සංකේතයක් ලෙස දියුණු කරන ලෙස ඉල්ලමින්, අප මහ ඇමති තුමන් විසින් ගෙන යන ව්‍යාපාර ආදියට උදවු උපකාර කර, නිදා සිටින අප ජාතිය අවදි කරන්නටත් යාපනය විශ්වවිද්‍යාලයේ හිස නැවත ඔසවා තබන්නටත් ඔබතුමන් කටයුතු කළ යුතු වෙනවා. එයයි මේ රැස්ව සිටින අප සැමගේ බලාපොරොත්තුව. ඔබතුමන් එය ඉටු කරනවා නිසැකයි.“
සියළු දෙනා අත්පොළසන් දුන්හ. මාද අත්පුඩි ගැසුවෙමි. හරියට හරි ! නියම කතාව පට්ටයි ! වගේ ඇක්ෂන් එකක් මා ඉදිරියේ වාඩිවී සිටි මහතෙකු තම ඉරියවු වලින් අනෙකාට ප්‍ර‍කාශ කළේය. උපකුලපති තුමෙකුගේ සැබෑ වගකීම මා තේරුම් ගත්තේ එවිටයි.

මෙලෙස බොහෝ දෙනා වේදිකාව මතට පැමිණි තම තම පැසසුම් ලබා දී ලකුණුද ලබා ගත්හ. විග්නේෂ්වරන් මහතාගේ නිහඬ බව ගැන ඉතාම හොඳ අහදසක් ඉදිරිපත් කළ කාන්තාවක් මේසේ පැවසුවා.

මෙතුමාගේ නිහඬ බව නුසුදුසු කමක් යැයි ඇතැමුන් පවසනවා. නමුත් මා දකින ආකාරයට, බොහෝ දෙනා කතා බහ කරමින් කාලය නාස්ති කරන වාතාවරණයක තමුන් නිහඬව සිටීම මැනැවැයි එතුමා සිතනවා ඇති.

ඇගේ එම කතාවට සියළුම දෙනා අත්පොළසන් දුන්හ. මේ ආකාරයට නොකඩවා කතා පැවැත්විණි.

මෙතුමාව මෙම ස්ථානයට ගෙන එනු ලැබුවේ එතුමාගේ උත්සාහය පමණක් නෙවෙයි. එතුමා මේ මුරුගන් කෝවිලට දිනපතා ඇවිත් හදවතින්ම දෙවියන් නමදින කෙනෙක්. මා දන්නා තරමින්, කෝවිලට නොයා මෙතුමා විශ්වවිද්‍යාලයට පවා යන්නේ නැහැ. ඒ ශත්කියයි මෙතුමාට මේ ගමන එන්න රුකුලක් වුණේ.
දැන් එතකොට ලංකාවේ අනිත් උපකුලපති තුමන්ල සහ ලෝකේ පුරා ඉන්න මහා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ මහාචාර්ය වරු එහෙමත් හැමදාම මුරුගන් කෝවිල වැඳලද ගියේ? මා තනිවම ප්‍ර‍ශ්ණ කළෙමි. (සමාවෙන්න අපහාසයක් නෙවෙයි සැකයක්)

ඉන් අනතුරුව එතුමා සමඟ කරට කර තරඟ වැදුණු මහාචාර්ය වේල්නම්බි මහතාද පැමිණ තම සුබපැතුම් කතාව පටන් ගත්තේය. “අයියේ තව ගොඩක් වෙලා යයිද? “ මම පසෙක සිටි කෙනාගෙන් ඇසුවෙමි. “අපොයි ඔවු. මේකේ උත්සවයක් නම් ඉතින් අට නමයවත් වෙනවා ඉවර වෙද්දි“ ඔහු පැවසීය. වහාම මම එම ස්ථානයෙන් පිටවුණෙිමි. දොරටුවේහිදී මා අඳුනන එක්තරා මහතෙකු මාව නවතා “කොහොමද මල්ලි? දැන් උපාධිය ඉවරයිලු නේද? “ කොහොමද විගී සර්? ඔයාලා කැමතිද?“ යැයි ඇසුවේය. එතුමාට මා මගේ අවංකම හැඟීම ප්‍ර‍කාශ කර එතැනින් නික්මුණෙමි.

මෙම ලිපිය අවසානයේ මාද එතුමාට හදපිරි සුබපැතුම් එක්කරන්නට කැමැත්තෙමි. විශ්වවිද්‍යාලයේ සෑම සියළු සිසුවෙකුටම සාධාරණ සේවයක් ඉටු කරන්නට එතුමාට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු !

(අඩුපාඩු තියෙයි නම් කොමෙන්ට් කර කියන්න)

Comments

Popular posts from this blog

Ramesh | an emerging boxing star from north

I am Ramesh Ranjithanathan from Point Pedro, Jaffna, Sri Lanka. I am a self-trained boxing player who is expecting professional training. Please be kind enough to read my story. I was born on 2 nd December 1986 in Point Pedro, Jaffna. I studied in Thambasiddy M.M.T.M.S School. I was interested in boxing in early 2000, after watching boxing tournaments in television and went to Mr. Kaneshamoorthy who was a karate master at that time, to learn the basics of karate. With the help of his techniques, I myself managed to practice boxing while watching international boxing tournaments in television. In 2005, I faced my first boxing tournament at Sugathadasa stadium, Colombo which I could not succeed because of weak techniques and lack of training.  The reason was, as Sri Lanka was going through a civil war during that time, we did not have enough facilities in Northern Province for a better training. As our areas were ruled by Sri Lankan army and also by LTTE, we were hiding ourselv...

සැබෑ බෞද්ධයා යනු කවරෙක්දැයි යාපනයට පෙන්වන මෙහෙයුමේ නිරතව සිටින සරසවි සිසුන්.

2017 පොසොන් බත් දන්සැල දැනට වසර හතරකට ඉහතදී 2013 වර්ෂයේ වෙසක් පොහොය දින (එවකට අප පළමු වසර සිසුන්ය) 36 හා 37 කණ්ඩායම් විසින් සංවිධානය කළ සිසිල් පැන් දන්සලට කලින් දා රාත්‍රියේ හට් එක ගසා නිමකර, පසු දින උදෑසන එම ස්ථානයට පැමිණි පසු අපට දක්නට ලැබුණේ දන්සල් කුටිය තුළට හම ගැසූ කුකුළෙකුගේ අවශේෂ කොටස් දමා විසුරුවා ගොස් තිබුණ දසුනයි. සිංහල බෞද්ධයා පිළිබඳව යාපනය වැසියන්ගේ සිත් තුළ කෙතරම් කෝපයක් තිබුණාද යන කාරණය එයින් අපට පැහැදිළි විය. එය ඔවුන්ගේ වරදක්යැයි එක හෙළා කීමට නොහැක. ඉන්පසු කුටිය හතර කොණින් උස්සාගෙන ගොස් වෙනත් ස්ථානයක තබා දන්සල දුන්නෙමු. එතැන් පටන් ඔවුනට නැවත වෛර කිරීම අතහැර දමා නොදන්නා මිනිසුන්ට නියම බෞද්ධයා යනු කවුදැයි පහදා දීමේ වගකීම යාපනය සරසවියට පැමිණෙන සිංහල බෞද්ධ සිසුන් කරට ගත්හ. එම කර්තව්‍යයට දකුණෙන් පැමිණි මුස්ලිම්, කතෝලික හා හිංදු සිසුන්ද මහඟු උපකාරයක් දුන් බව මතක් කරමු.  2013 වසරේ සිසිල් බීම දන්සැල එම වසරේදීම විශ්වවිද්‍යාලය තුළ ධර්මදේශනාවක් සංවිධානය කෙරිණි. මහා සංඝරත්නය යාපනය විශ්වවිද්‍යාල භූමියට අඩිය තැබූ ඒ දිනයේ සම්‍යක් දෘෂ්ටික නොවූ බොහෝ හදවත් මොහොත...

දැයක් වැනසූ රටක් සැනසූ මැයි 18 ?

2009 වසරේ මැයි 18 දිනය ශ්‍රී ලාංකික අප කාටත් අමතක නොවන දිනයකි. අප දන්නා තරමින් එය විජයග්‍ර‍හණයේ දිනයයි. කුරිරු ත්‍ර‍ස්තවාදය පරාජය කොට මුළු මහත් ශ්‍රී ලංකාවටම සාමය..සමාවෙන්න යුද්ධය නිමා කළ දිනයයි. යුද්ධයක් අවසාන වන විට ප්‍ර‍ධාන දෙපිරිසක් සිටිති. ජයග්‍රාහකයින් සහ පරාජිතයින්. අප ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළ අතර තව පිරිසක් පරාජිත කණ්ඩායම නියෝජනය කළහ. සරළවම කිවහොත් සිංහල ජාතිය ජයග්‍රාහකයිනුත් දමිළ ජාතිය පරාජිතයිනුත් බවට පත්විය. සත්‍යය කුමක් වුවද ජනතාවට දැනුන දෙය එයයි. මේ මොහොතේ මා මේ සටහන තබන්නේද පරාජිතයින් යැයි සැළකෙන ජනතාව මධ්‍යයේ සිටයි. ජයග්‍රාහකයෙකු ලෙස වසර හතරකුත් පරාජිතයින් සමඟ වසර හතරකුත් ලෙස ඉතාම සමබර වූ අත්දැකීම් සමුදායක් ඇත්තෙක් ලෙස මෙම සටහන ලියන්නෙමි. යුද්ධය නිමාකර මේ මස 18 වැනි දිනට හරියටම වසර අටකි. මේ මොහොතේ මා වටා සිටින පරිසරය සූදානම් වන්නේ විජයග්‍ර‍හණයක් සැමරීමට නොවන බව මා හොඳාකාරවම දනිමි, ඔබද එය දැනගත යුතුයැයි සිතමි. මෙය සැමරීමකට වඩා අනුස්මරණයක් ලෙසද සැළකිය හැකියි. ඔවුන් පවසන ආකාරයට එය "#Tamil Genocide Day" නොහොත් දමිළයින් සමූල ඝාතනය කළ දිනයයි. මැයි 18 දි...