2009 වසරේ මැයි 18 දිනය ශ්‍රී ලාංකික අප කාටත් අමතක නොවන දිනයකි. අප දන්නා තරමින් එය විජයග්‍රහණයේ දිනයයි. කුරිරු ත්‍රස්තවාදය පරාජය කොට මුළු මහත් ශ්‍රී ලංකාවටම සාමය..සමාවෙන්න යුද්ධය නිමා කළ දිනයයි. යුද්ධයක් අවසාන වන විට ප්‍රධාන දෙපිරිසක් සිටිති. ජයග්‍රාහකයින් සහ පරාජිතයින්. අප ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළ අතර තව පිරිසක් පරාජිත කණ්ඩායම නියෝජනය කළහ. සරළවම කිවහොත් සිංහල ජාතිය ජයග්‍රාහකයිනුත් දමිළ ජාතිය පරාජිතයිනුත් බවට පත්විය. සත්‍යය කුමක් වුවද ජනතාවට දැනුන දෙය එයයි. මේ මොහොතේ මා මේ සටහන තබන්නේද පරාජිතයින් යැයි සැළකෙන ජනතාව මධ්‍යයේ සිටයි.
ජයග්‍රාහකයෙකු ලෙස වසර හතරකුත් පරාජිතයින් සමඟ වසර හතරකුත් ලෙස ඉතාම සමබර වූ අත්දැකීම් සමුදායක් ඇත්තෙක් ලෙස මෙම සටහන ලියන්නෙමි. යුද්ධය නිමාකර මේ මස 18 වැනි දිනට හරියටම වසර අටකි. මේ මොහොතේ මා වටා සිටින පරිසරය සූදානම් වන්නේ විජයග්‍රහණයක් සැමරීමට නොවන බව මා හොඳාකාරවම දනිමි, ඔබද එය දැනගත යුතුයැයි සිතමි. මෙය සැමරීමකට වඩා අනුස්මරණයක් ලෙසද සැළකිය හැකියි. ඔවුන් පවසන ආකාරයට එය "#Tamil Genocide Day" නොහොත් දමිළයින් සමූල ඝාතනය කළ දිනයයි.
මැයි 18 දිනයට විජයග්‍රහණයේ දීනය කීවද පරාජයේ දිනය කීවද ඒ දෙකම හරි හෝ වැරදි ලෙස අර්ථකතනය කිරීමට අපට හැකියාවක් නැත. මන්ද ඒවා සාපේක්ෂ වීමයි. ජයග්‍රාහකයින්ට සාපේක්ෂව බැලීමේදී සැමරීමක්. පරාජිතයින්ට සාපේක්ෂව බැලීමේදී වැළපීමක්. මාගේ හෘද සාක්ෂියට නම් තවමත් මැයි 18 යනු විජයග්‍රහණයේ දිනයක් බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මේ සටහනෙන් මා බලාපොරොත්තු වන්නේ යාපනයේ වාතාවරණය ඔබට පැහැදිළි කිරීම පමණි.
යාපනය වැසියන්ගේ අත්දැකීම් අනුව යුධ ජයග්‍රහණය පිටුපස සමූල ලෙස ඝාතනය වූ බොහෝ එල්.ටී.ටී.ඊ නොවන සාමාන්‍ය සිවිල් ජනතාව දහස් ගණනක් සිටිත්. යුද්ධයක් අවසාන කරන මෙහොතක තෝරා බේරා පහරදීම් කළ නොහැකි බව සත්‍යයක්. එය එසේ නම් යුද්ධයක අවසාන මෙහොත තුළ දහස් ගණනක් සිවිල් වැසියන් ඝාතනය වීමට ඉඩ ඇති බවද සත්‍යයක්. එසේනම් මුල්ලිවෙක්කාල් සැමරීමට ඉඩ දිය හැකිද? මාගේ අදහස නම් “මේ විදියට ඉඩදිය යුතු නැත“ යන්නයි. මන්ද මෙයට මුවාවී දේශපාලන අන්තවාදීන් ප්‍රභාකරන් ඇතුළු මිය ගිය ත්‍රස්තවාදීන් සැමරීමද සිදු කරති. යාපනේ බෙහෝ මිනිසුන්ට ප්‍රභාකරන් දෙවියෙක් වැනිය. එය මා දැනගත් තවත් කරුණකි. නමුත් රටට තවමත් ඔහු ත්‍රස්තවාදියෙකි. වසවර්ති මාරයා සමඟද ඔහුට පක්ෂපාතී මාරසේනාවක් සිටින මුත් මාරයා මාරයාම බව පිළිගත යුතුයි. මැයි 18 අනුස්මරණයට සමගාමීව ඊලාම් සිතියම් හා ඊට සම්බන්ධ අනෙකුත් ලාංඡන ප්‍රදර්ශනය කිරීම අනුමත කළ නොහැකියි.
කෙසේ වුවද එදා යුද්ධය නිමා කළ මෙහොත මුළු රටම සැනසූ දිනයක් බව අප අමතක නොකළ යුතුයි. සිවිල් යුද්ධය නිමාවී වසර 8 ක් ගියද තවමත් සිංහල දමිළ හදවත් යුද්ධය නිමා කිරීමට හැකි වී නැත. ත්‍රස්තවාදයෙන් තොර වූ හුදෙක් මානව අයිතිවාසිකම් සිංහළ-දමිළ දෙපාර්ශවයම පිළිගන්නා තුරු සාමය යනු ළඟා කර ගත නොහැකි ඉලක්කයකි. නමුත් ත්‍රස්තවාදය අමතක කිරීමට පරාජිතයිනුත්...ජයග්‍රාහකයිනුත් යන දෙපිරිසම සූදානම් නොමැති වීම කණගාටුවට කරුණකි.

Comments
Post a Comment